ධර්ම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය

(බන්දුල මුණසිංහ - සුමේධ මාවත )

ගණේමුල්ල සතර පේරුවේ ජනගහනයෙන් 99% පමණ වූ බෞද්ධ ජනයාට ඇති එකම පූජනීය සිද්ධස්ථානය වශයෙන් මෙම ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය හැදින්විය හැකිය. එම විහාරය අද වන විට මෙතරම් අංග සම්පූර්ණත්වයට පත්ව ඇත්තේ අතීතයේ සිට අද දක්වා විසූ සාසන ලැදි පරහිතකාමී බොදුනුවන්ගේ ඉමහත් පරිත්‍යාගයන් සහ අපරිමිත කැපකිරීම් මත බව ගෞරවයෙන් සඳහන් කළ යුතු අතරම, ඒ සඳහා නායකත්වය සහ මර්ගෝප දේශකත්වය ලබා දුන්නේ එදා සිට අද දක්වා මෙහි වැඩ විසූ ගරු නායක ස්වාමීන් වහන්සේලා විසින් බව කෘතගුණ පූර්වකව සඳහන් කළ යුතුය. අපේ ගමත් පංසලත් අතර ගොඩනැගී ඇත්තේ කිසිලෙසකින් නොසිදිය හැකි නොබිදිය හැකි ගසට පොත්තත් පොත්තට ගසත් බඳු බැඳියාවකි. නිරායාසයෙන් සතර පේරුවෙන් විහිදි එන ලොකු කුඩා මංමාවත් සියල්ල, ගම මධ්‍යයේ පිහිටි ධර්ම ශ්‍රී වර්ධනාරාමය කේන්ද්‍ර කොට නිර්මානය වී ඇති අන්දම නිරීක්ෂණය කිරීමෙන් ඒ බව ඔබට මනාව වටහා ගත හැකිය. මේ අනුව නොයෙක් ආකාරයට බේද බින්න වන සමාජය එකමුතු කිරීම සඳහා “පන්සල” කේන්ද්‍ර කොට ගිහි පැවිදි සම්බන්ධකම් තහවුරු කිරීම, වඩා යෝග්‍ය බව අපටත් වඩා පැරැන්නන් වටහාගෙන තිබුනා සේය..


මූලාරම්භය

මෙම විහාරස්ථානයේ මුලාරම්භය සිදුවූ වර්ෂය ගැන නිශ්චිතව සටහනක් තැබීම අපහසු කරුණක් වුවද බොහෝ විට එහි අරම්භය 1875 – 1900 අතර කාලසිමාවේදී සිදුවන්නට ඇතැයි උපකල්පනය කළහැකිය. මා එසේ සඳහන් කරන්නේ නිකම්ම සිතට ආවාට නොවෙන බවත්, තතු දත් වැටිහිටියන් ගෙන් උකහාගත් තොරතුරු හා 1903දී උපත ලබා, ගමේ මංමාවත් සංවර්ධනය හා මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කැපවී, ප්‍රදේශයේ ජනාදරයට පත්ව 1992 දී අභාවප්‍රාප්ත වූ, ගරු විශ්‍රාමලත් විදුහල්පති අල්පේනිස් මුණසිංහ මැතිතුමා විසින් සටහන් තබා ඇති වටිනා ලියවිල්ලක්ද, උපයෝගි කරගෙන බවත්, පළමුවෙන්ම මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

දුර අතීතයේ සිටම මෙගම් වාසීන්, කොස්සින්න මහා විහාරයට සම්බන්ධ වී සිටි බව පැවසේ. ඒ අනුව කොස්සින්න මහා විහාරයේ සඟපරපුරට අයත් ගරු නුංගමුවේ සුමංගල හිමියන්ට මෙහි වැඩමකර පන්සලක් ඉඳිකිරීමට ආරාධනා කර ඇත්තේ (කොස්සින්න මහා විහාරයට නැවත පුනර්ජීවය ලබාදිමට ඇපකැප වූ පැරණිතමයෙකු ලෙස සැලකිය හැකි, එම විහාරයේ ප්‍රධාන දායකත්වය ඉසුලුවා යැයි අල්පේනිස් මුණසිංහ මහතාගේ සටහනෙහි ලිඛිතව සදහන් කර ඇති “සිංඤඤපපුහාමි” උපාසක මහතාගේ පුත්‍ර රත්නයක් වූ) ගණේමුල්ල දකුණු පේරුවේ පදිංචිව සිටි වික්‍රමආරච්චිගේ දොන් බස්තියන් ගුණසේකර මැතිතුමා විසින් ය. මේ සඳහා එතුමා විශාල බිම් කොටසක් සඟසතු කොට පූජා කර ඇත. අද ගණේමුල්ල ප්‍රදේශවාසී බේද්ධ ජනතාවට “පහන් ටැඹක්” බඳු දර්ශනීය ධර්ම ශ්‍රී වර්ධනාරාමය (කුරුඳුවත්තේ පන්සල) උප්පත්තිය ලබා ඇත්තේ ඒ පුන්‍ය භුමිය මතය.


කොස්සින්න යටවත්ත රජ මහා විහාරය

ධර්ම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය ගැන අතීත තොරතුරු සොයා යෑමේදී අපේ ගම් ප්‍රදේශයේ එකළ විසූ බෞද්ධ ජනයාගේ ප්‍රථම සිද්ධස්ථානය වශයෙන් කොස්සින්න මහා විහාරයට හිමිව ඇත්තේ අමතක කළ නොයුතු ප්‍රමුඛස්තානයකි. මෙම විහාරය ක්‍රි.ව. 1415 දි බිහිවූ කෝට්ටේ රාජධානිය විසින් ඉදිකර සඟසතු කොට පූජාකළ ඓතිහසික සිද්ධස්ථානයකි. අපේ පැරණි රජවරු බුදුදහම නගා සිටුවීමෙන් තොරව රාජ්‍ය පාලනයෙහි නොයෙදුනේය. රාජ්‍යත්වය ලබාගත් පසු සිය රාජ්‍යය පුරාම වෙහෙර විහාර ඉදිකරවා, උතුම් සඟරුවණ වඩාහිඳවා, ඇප උපස්ථානයට ජනයා පදිංචිකරවීම ඔවුන්ගේ ප්‍රථම කාර්යය විය. මිට වසර හයසියකට එපිට කෝට්ටේ රාජධානිය පිහිටවූ හයවන පරාක්‍රමබාහුරජතුමාද ගත්තේ ඒ මගමය. එසේ කොස්වින්න (කොස් වනය) යැයි එදා නම් ලද ප්‍රදේශයේ ස්ථාපිත කළ මෙම විහාරය අද, කොස්සින්න රජමහා විහාරය ලෙස පූජනීයත්වයට පාත්‍රව ඇත්තේ ඒ ඓතිහාසික පසුබිම මතය.

හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් විහාර පුජාව ඇතුළු ශාසනික සේවා රැසක් සිය ධුරකාලය තුල සිදු කළේය. එනමුදු එතුමාගේ අභාවය සිදුවීමෙන් පසු රටතුළ වර්ධනය වූයේ දේශපාලනික ව්‍යාකූල භාවයකි. එම තත්වය තව තවත් තීව්‍ර වීමට, ඊට සමකාලීනව සිදුවූ අපරදිග ජාතීන්ගේ ආගමනය ද අවාසනාවන්ත ලෙස බලපෑවේය. මෙසේ කෝට්ටේ පාලනය අස්ථාවර වෙද්දී, කොස්සින්න මහා විහාරය හා ගොඩ නැගෙමින් තිබූ නව ජනාවාසයට නිසි රාජ්‍ය අනුග්‍රහහය නොලැබී යාම නිසාදෝ, අත්වූ ඉරණම වූයේ සියවසක් ඉක්මවීමටත් පෙර විහාරය හා අවට ප්‍රදේශය නැවත ක්‍රමයෙන් ජනශූන්‍ය වී වනයෙන් වැසී යාමය. (හයවන පරාක්‍රමබාහු රජතුමා එදා කොස්වින්න මහා විහාරයට ලබා දුන් “ග්‍රාම වරය” ට අද අප ජිවත්වන ගණේමුල්ල ප්‍රදේශයද (ඉරහඳ ගල දක්වා)අයත්ව තිබූ බව අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු විහාරයේ පිහිටුවා ඇති ශිලා ලේඛනයෙන් පැහැදිලිව හෙලිවේ.)

පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ අපේ මුහුදුබඩ ප්‍රදේශ නිරන්තරයෙන් යුධ පිටියක ස්වභාවයක් ඉසිලූ බව ඉතිහාසය කියවීමේදී අප දැන කියා ඇත්තෙමු. මෙලෙස සියවස් තුනකට පමණ ආසන්න කාලයක් වනාන්තරයට යටව තිබු කොස්සින්න මහා විහාරය පිහිටි ප්‍රදේශය නැවත මිනිස් ඇසට ලක්වන්නේ ඉහත කි යුධමය තත්වයන් හමුවේ යැයි පිළිගත හැකි සාධක මහා විහාරය සතු තොරතුරු වලින් සපයා ගත හැක. ගැටුම් පැවැති ප්‍රදේශවල යුධ පෙරමුණු වලට බලහත්කාර බඳවා ගැනීම් නිතර නිතර සිදුවීමෙන් මහත් පිඩාවට පත් හැඩිදැඩි තරුණ පිරිස්, උපන් ගම්බිම් අතහැර පලාගොස් සැඟවිමට තෝරා ගත්තේ මෙවන් වනාන්තර බඳ ප්‍රදේශයන්ය. මෙලෙස සංක්‍රමණය වූ පිරිසකට පළමුවෙන්ම වන ලැහැබින් වැසුනු මහා විහාරයේ ගරා වැටුන නටබුන් මුණ ගැසෙන්න ඇතැයි ජනප්‍රවාදයේ ඇති තොරතුරු හා සංසන්දනය කර බැලීමේදී අපට උපකල්පනය කළ හැක.

19 වෙනි සියවස ආරම්භ වූ වකවානුවේ සිදුවෙන්න ඇතැයි විශ්වාස කළ හැකි මේ සොයා ගැනීමෙන් පසු, කොස්සින්න මහා විහාරය නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ වගකීම නව සංක්‍රමනිකයන් බාරගත් බව පෙනියයි. රූස්ස නා ගස් සමුහයකින් වසාගත් තේජාන්විත විලාශයක් ඉසිලූ විහාර භූමිය එළිපෙහෙලි වී වන්දනා මානයට සූදානම් විය. විහාරස්ථානයට වත්පෙත් කරමින් රැකවරණය සැලසීමට, භික්ෂුන් වහන්සේ නමක් වඩා හිඳුවා දන් පැන් පිරිනමමින් ඇප උපස්ථාන කිරිම ඇරඹුනි. ඒ වන විට ප්‍රදේශයේ පදිංචිව සිටි සීමිත දායක පිරිස විසින් එසේ වඩාහිඳවු (පොල්අතු කුටියකට) ප්‍රථව ස්වාමීන් වහන්සේ වශයෙන් හැඳින්වෙන් “පුජ්‍ය නුංගමුවේ පියදස්සී” නම් හිමිනමක් ගැනය. ගණේමුල්ල ධර්ම වර්ධනාරාම විහාරය නිර්මාතෘ පූජ්‍ය නුංගමුවේ සුමංගල අපේ නායක හිමිපානන් පැවැදි දිවිය අරඹා ඇත්තේ ද උන්වන්සේගේ ශිෂ්‍ය පරිම්පරාවේය.

අප විහාරයට පිංබිම ලබාදුන් උත්තමයා වන දොන් බස්තියන් ගුණසේකරගේ පියාණන් වූ කොස්සින්න විහාරයේ ප්‍රධාන දායක තැන වූ “සිංඤඤපපුහාමි” ද කොස්සින්න ග්‍රාමවරයට අයත් ප්‍රදේශයට සංග්‍රමණය වූ ප්‍රථමයෙකු බව මේ අනුව සඳහන් කළ හැකිය. එතුමාගේ නමේ පිහිටීම ම (සිංඤඤපපු) ඔහු පෘතුගිසින් හෝ ලන්දේසීන් පාලනය කළ ප්‍රදේශයක උප්පත්තිය ලැබුවෙකු බව සනාථ කිරීමට සාක්ෂි සපයයි.

මෙලෙස ඉතිහාස ගත වන ගණේමුල්ල දකුණු පේරුවේ වික්‍රමාරච්චි පරම්පරාව ගැන නැසීගිය මුණසිංහ මහතා සිය අත් අකුරින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

ඉහත කි දොන් බස්තියන් ගුනසේකර, රජයෙන් ගුනසේකර නාමය ලැබුවා. ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමය (කුරුඳුවත්තේ පංසල) පිහිටුවීමේ (ප්‍රධානියා) ඔහුගේ පියා (සිංඤඤපපුහාමි) කොස්සින්න යටවත්තේ විහාරයේ ප්‍රධාන දායක මහතාය. කොස්සින්න යටවත්තේ විහාරාධිපති නුංගමුවේ පියදස්සී හාමුදුරුවන්ට පූජාකළ. ගණේමුල්ල සුරවීර ඇඩ්වර්ඩ් යන මහතුන්ගේ ගෙවල් අසල “පිංවත්තේ” ඔප්පුව ලියා ඇත්තේ ඉහත කී වික්‍රමාරච්චිගේ සිංඤපපුහාමි නමටය. (උපුටැගැනීම අවසන්)

ධර්ම ශ්‍රී වර්ධනාරාමය ගැන පමණක් නොව, අපේ මුතුන් මිත්තන් මේ ප්‍රදේශය ගොඩ නැගූ පසුබිම ගැන ද මුලාශ්‍ර සපයන මේ වගන්ති දෙක මෙසේ සටහන් කර තැබීම ගැන ගරු මුණසිංහ මැතිඳුන්ට අපේ සර්වකාලීන බෞද්ධ ජනයාගේ ගෞරවය හිමිවිය යුතුය. කොස්සින්න මහා විහාරයටද මෙය ඉතා වැදගත් ය. ප්‍රථම විහාරාධිපති හිමියන්ගේ දායක සභාව් ප්‍රධානියා වීමේ භාග්‍යය ලද්දේ පිංවත් “සිංඤඤපපු හාමි” උපාසක මහතා නම්, එතුමා කැළයෙන් වැසීගිය මහා විහාරය සොයා ගැනීමේ හා නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ පුරෝගාමියා ද විය නොහැකිද? එය එසේ සිදුවී ඇත්නම් පියා, මහා විහාරය ගොඩ නැගිමටත්, පුතා, ධර්ම ශ්‍රී වර්ධනාරාමය ගොඩනැගීමටත් මුල්විම, පෙර කළ ප්‍රබල කුසල කර්මයක පටිසන්දිමක් ලෙස බෞද්ධ අපට පසක් කළ හැක.


ගණේමුල්ලේ කුරුඳුවත්තේ පන්සල ආරම්භක දායක පිරිස


(මෙහි ඇතුලත් දායක සභා හයක විස්තර මුණසිංහ මහතාගේ සටහන් පොතින් උපුටාගන්නා ලදී.)

පූජ්‍ය නුංගමුවේ සුමංගල ස්ථවීරයන් වහන්සේ
(1875 – 1916)

නුංගමුවේ සුමංගල හිමියන් මුලින්ම මෙම ඉඩමේ වැඩ වාසය කර ඇත්තේ, ඉඩමේ පහල කොටසෙ “දොන් බස්තියන් ගුණසේකර” මහතා මුල්වී පොල් අතු අහුරා තනාදුන් ආවාස කුටියකය. මෙම ඉඩමට පහලින් වැවක් වැනි ජලාශයක් තිබූ බවත්, ආසන්නයේ පිහිටි කුඹුරු යායට එයින් ජලය බෙදාහැර ඇති බවත්, පැරන්නෝ ඔවුන්ගේ පැරන්නන්ගෙන් දැනකියා ගෙන ඇත. පංසලේ ගොඩනැගිලි ඉදිකරන මුල් අවධියේ ඝණ්ඨාර කුළුන සඳහා බොහෝ කලක් පාවිච්චි කර ඇත්තේ, ගොඩපර ගසක අත්තකි. එසේ වැඩ වසන අතරතුරදී පංසලේ දායක දායිකා පිරිස ගේ ධන හා ශ්‍රම දායක්තවය හා කැපකිරීම නොපිරිහෙලා සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ආවාස ගෙයක් (පසුව ඉවත්කල) බුදුමැදුරක් (අද ඇති බුදු මැදුර නොවේ) හා විශාල ධර්ම ශාලාවක් ක්‍රම ක්‍රමයෙන් මෙම භූමියේ ඉදිවූ බවට පිළිගත හැකි මති මතාන්තර බොහෝ වේ. මේ වන විට නුංගමුවේ රතනපාල ස්වාමින් වහන්සේද ධර්ම ශ්‍රී වර්ධනාරාම පංසලේ වැඩ වාසය කර ඇත. නුංගමුවේ සුමංගල හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් මහණ දම් පිරූ උන් වහන්සේ සුමංගල හිමිගේ අපවත් වීමෙන් පසු 1916 දී ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති ධුරයට පත් වූ බව කියැවේ.

2 වෙනි දායක සභාව 1912


පංසල පාර

1875-1900 කාල සීමාවේ ඉඳිකලායයි විශ්වාස කරන, පසුව ඉවත් කරන ලද පැරණි බුදු මැදුර පිළිබඳවද විවිධ කටකථා පැරන්නන් අතර පැවතී ඇත. බුදුගෙයි වැඩ නිමකොට බුදු පිළිමයට නේත්‍රා පිහිටුවීමේ උත්සවයට කලින් දින රාත්‍රියේ, යම් කිසිවෙකු විසින් පිලිමයට රහසිගතව නේත්‍රා පිහිටුවා ඇත. පසුව හෙලිදරව් වූ එම පුද්ගලයා, අනතුරුව හඳුනාගැනීමට නොහැකි වූ දරුණු රෝගයකින් බොහෝ කාලයක් පීඩා විදිමින් සිට මියගොස් ඇතැයි පැරණි ගම්වැසියන් අතර මතයක් තිබී ඇත. එකල ජීවත් වූ තරුණ කාන්තාවන් දෙදෙනෙකු පංසලට පැමිණි අවස්ථාවක, පිළිමයේ නේත්‍රා දෙස ටික වේලාවක් බලා සිටීමෙන් අනතුරුව නිවෙස් කරා ගොස් ඇත. එම තැනැත්තියන් දෙදෙනාම එදින සිට සිහිය විකල් වී මුළු ජීවිත කාලයම රෝගීන් වශයෙන් ජිවත් වී සිට ඇත. පොදුවේ ගත් කල, පැරණි බුදුමැදුරෙන් විශේෂයෙන් දකුණු පේරුවේ විසූ අයට, (පිළිම වහන්සේගේ නේත්‍රා ගම දෙස බලා සිටින අයුරු පිහිටුවා තිබූ නිසා) අපල උපද්‍රව බහුල වූ බව පැවසේ. මුල් කාලයේ දායක සභාවල තීරණයක් මත, පසුව නව බුදුමැදුර අද පවතින ස්ථානයට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව පැහැදිලිය. කෙසේ වුවද, මේ ලිපිය සැකසීම සඳහා කරුණු සොයා යැමේදී මට වැටහුන ආකාරය නම්, වික්‍රමාරච්චි පරම්පරාවේ මෙම නොබෙදු මහ ඉඩම බෙදා වෙන් කිරීමේ දී, පැරණි බුදුගෙය යාව ඇති ඉඩම් කොටසට බෙදියාම නිසා නව බුදුමැදුරක් ඉඳිකිරීමේ අවශ්‍යතාවය පැන නගින්න ඇත කියාය. එනමුදු මා ඉහතින් සඳහන් කළ මතිමතාන්තරද, මේ ඉඳිකිරීමට හේතු පාදක වන්න ඇත යන්න කිසිසේත්ම බැහැර කළ නොහැක.

ක්‍රි.ව. 1875 – 1900 වකවානුව යනු, පුළුල් මංමාවත්, රථවාහන, නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කළ යුගයක් නොවුනි. එකල අපටම ආවේනික වූ ක්‍රමවේදයන් මත සකසා ගත් ග්‍රාමීය ජීවන රටාවක් තුල මෙගම්වාසීන් ජීවත්ව ඇති බව අවිවාදිත කරුණකි. මේ කාළයේ ගම තුල පමණක් නොව, අවට පිහිටි ගම්මාන වලට යෑම් ඊම් සඳහා පවා ගැමියන් භාවිතා කරන ලද්දේ අඩිපාර, දෙවැට පාර, දෙනිය, ඇල, වේල්ල හෝ වේල් නියර ආදිය ය. වික්‍රමආරච්චි පරම්පරාවේ “දොන් බස්තියන් ගුණසේකර” දායක මහතාත්. ගරු නුංගමුවේ සුමංගල ස්වාමීන් වහන්සේත් කථිකාකොට “ගණේමුල්ල කුරුඳුවත්ත පංසල” ඉදිකිරීමට එදා ගන්නා ලද හදිසි තීරණය, ඉහත කී ගැමි ජීවිත රටාව කණපිට හැරිමට ඉවහල් වූ “මුල් බීජය” වන්නට ඇතැයි මෙහිලා සඳහන් කිරීම නිවැරදි යයි සිතේ.

විහාරස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වීමෙන් පසු, අවශ්‍ය දෑ ප්‍රවාහනය සඳහා කරත්ත පාරක අවශ්‍යතාවය එකල දායකයන්ට මතුවූ ප්‍රබල ගැටළුවක් විය. එයට ලැබුන සාධාරණ විසඳුම වුයේ, අප එදා සිට අද දක්වාම හඳුන්වාගෙන එන “පංසල පාර” ගණේමුල්ල ගමට අළුතින් දායාද වීමය. එකල විසූ පිංවත් බෞද්ධයන්, ගමට උරුම කර දුන් මේ කුළුදුල් “දායාදය” ගණේමුල්ල මාර්ග සංවර්ධනයේ “අත්තිවාරම” ලෙස හඳුන්වනවාට කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. මෙම “පංසල පාර” ඉදිවීමට පාදක වූයේ, ඉතා ඈත කාළයේ සිට පැරැන්නන් විසින් භාවිතා කරන ලද “අඩි” පාරක් යැයි කියනු ලැබේ. එහි සුලමුල සැකෙවින් මෙසේය.

පැරණි ගම්වැසියන්ට එකළ තිබූ එකම වෙළඳ මධ්‍යස්ථානය වී ඇත්තේ සතියකට වරක් පමණක් ගමට පැමිණි “සතිපොළ” විය. තමන් ගෙනා දේ විකුණා ගැනීමෙන් ගදරට අවශ්‍ය සියළු දේ ගැනීමටත්, රෙද්දක්, බැනියමක්, කම්බායක්, හැට්ට රෙද්දක් ආදී දේ ගැනීමටත් රැවුල් කොණ්ඩා කපා ගැනීමටත්, විශේෂයෙන් ගමේ රටේ අළුත් තොරතුරු (ඕපාදූප) දැන ගැනීමටත් ඔවුන්ට ඉවහල් වූයේ මේ “සතිපොළ” ම විය. එකළ අප ගම්වැසියන් පමණක් නොව, යාගොඩ, කෝට්ටෙගොඩ, අමුනුගොඩ ආදි ගම්මාන වල අය පවා මෙම සතිපොළට පැමිණ ඇත්තේ කුඹුරු යාය පසුකර ගමේ අඩිපාර ඔස්සේ ගොස් “පිටවෙල” වේල්ල මතින් පැරණි නාන ළිඳ ළඟට පිවිසීමෙන්ය. අප හඳුනා ගත් “පංසල පාර” ඉදි වුයේ මේ මත යැයි මුතුන් මිත්තෝ පවසා ඇති කටකථා වලින් පැහැදිලි ය.

ඈත අතීතයක පියසටහන් මකාදමමින්, “පිටවෙල” අඩි පාර මත, ආගන්තුක “කරත්ත පාර” මතුවීම, අප ගම ඉතිහාසයේ නව පිටුවක ආරම්භය සනිටුහන් කළේය. මෙම නව පාර දිගේ එදා ගම තුලට ආවේ පංසල ගොඩ නැගීමට අවශ්‍ය ගල්, වැලි සිමෙන්ති පමනක් ම නොවේ. අද අප සිතැඟි පරිදි ජීවත්වන “ගණේමුල්ල” මෙසේ නිර්මාණය වීමට හේතුභූත වූ සියළු බුද්ධිමය ආම්පන්න ද සේන්දු වූයේ මේ මග ඔස්සේය. ගණේමුල්ලත්, ධර්ම ශී වර්ධනාරාමයත් ගසට පොත්ත මෙන් අතීතයේ සිට බැඳී පැවතුන බව මෙහි මුලින්ම සටහන් වූයේ නිකම්ම නොවන බව මේ අනුව ඔබට තේරුම් යා යුතුය.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ඉහත කී “සතිපොල” හැටේ දශකය වන තෙක්ම පවත්වාගෙන ආයේ එකම ස්ථානයකය. ඒ ගලහිටියාවත් - ගණේමුල්ලත් වෙන්වන මායිම ලෙස පිළිගැනෙන, පෙර රජ දරුවන් “කෝරළ” වෙන්කිරීමට නම් කරණ ලද ඓ‍තිහාසික “ඉර හඳ ගල ” පිහිටි ආසන්නයේය. මෙතැන අද “උළුකඩේ හංදිය” ලෙස හඳුන්වයි.


ගණේමුල්ලේ කුරුඳුවත්තේ පන්සල
3 වෙනි දායක සභාව 1921


පූජ්‍ය නුංගමුවේ රතනපාල ස්ථවීරයන් වහන්සේ
(1916 – 1926)

ධර්ම ශ්‍රී වර්ධනාරාම ආරම්භක විහාරාධිපති ගරු නුංගමුවේ සුමංගල හිමිපාණන්, ක්‍රි.ව. 1916දී අපවත් වූ බව සනාථකරන නිවැරදි සාක්ෂියක් විහාර භූමියේ අදටත් පවතී. මෙම විහාරස්තානයේ වැඩ විසූ විහාරාධිපතින් වහන්සේලා තුන් නමකගේ භෂ්මාවහේෂ තැන්පත් සොහොන් කොන් තුනක්, ගරා වැටෙන තත්වයෙන්, මෑතක් වනතුරුම විහාර භූමියේ පැවති බව කවුරුත් දැන සිටි කරුණකි. වර්ථමාන විහාරාධිපති පූජ්‍ය වෑදණ්ඩේ ජිනරතන ස්ථවීරයන් විසින් කාළානූරූපව සැළසුම් කොට, එම භෂ්මාවශේෂ සහ ඉන්පසු අපවත් වූ සියළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ භෂ්මාවහේෂ ද එක් තැනක තැන්පත්කොට, විහාර භූමියේ නව සිහිවටන ඵලකයක් දර්ශනීය ලෙස ඉදිකොට ඇත. ඒ අනුව, පූජ්‍ය නුංගමුවේ සුමංගල හිමිගේ ශිෂ්‍ය නුංගමුවේ රතනපාල හිමියන් 1916 දී ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ දෙවැනි විහාරාධිපති ධුරයට පත්ව ඇති බව පැහැදිලිය. ක්‍රි.ව. 1900 ට පසුව හෝ පෙරාතුව පිහිටුවාගෙන ඇති I වෙනි දායක සභාව විසින් පැරණි ආවාසගෙය, පැරණි බුදුගෙය, ධර්ම හාලාව සහ ඝණ්ඨාර කුළුන ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතින්නට ඇතැයි ද, දෙවැනි විහාරාධිපති වහන්සේ විසින් එම කටයුතු ඉදිරියටත් සිදුකරමින්, විහාරස්ථ සංවර්ධන ක්‍රියාදාමයෙහි යෙදෙන්නට ඇතැයි ද යන්න එබ අප කාටත් පිළිගත හැකි කාරණයකි. රතනපාල හිමියන්ගේ පාලන කාළය තුල ලිඛිත හෝ වාචික තොරතුරු කිසිවක් සොයාගත නොහැකි වුවද, 1921 දී තුන් වැනි දායක සභාව පිහිටුවා ඇති බව අල්පේනිස් මුණසිංහ මහතාගේ සටහන් වල අන්තර්ගතව ඇත. ක්‍රි.ව. 1926 දි නුංගමුවේ රතනපාල ස්ථවිරයන්ගේ අපවත්වීම සිදුවී ඇත.

බෑවුම් සහිත බිම් කොටසක පිහිටි ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාර භූමිය දර්ශනීය ලෙස සකස් කර, විහාර මන්දිරයක් (පැරණි), සංඝාවාසයක් (පැරණි) සහ අංග සම්පූර්ණ ධර්ම ශාලාවක් ගොඩ නැගුනේ මෙම නායක ස්වාමීන් වහන්සේලා දෙපලගේ අප්‍රතිහත ධෛර්යය නිසා බව සඳහන් කිරීම ඉතා සාධාරණය. අද වාගේ තාක්ෂණික මෙවලම් නොමැති, මාර්ග පහසුකම් නොමැති එවන් කාළ පරිච්ඡේදයක දුප්පත්, නූගත් ගැමි උපාසක උපාසිකාවන්ගේ ශ්‍රම ශක්තිය, ධනය හා අධිෂ්ඨානය දහම් දියරෙන් කලතා මෙම මුඩු භූමිය මත “ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරය” පිහිටුවන ලද්දේ උන්වහන්සේලා දෙනම විසිනි.


4 වෙනි දායක සභාව 1926
(සීලරතන හිමියන්ගේ විහාරාධිපති වීම සමග )


පූජ්‍ය කොස්සින්නේ සීලරතන ස්ථවිරයන් වහන්සේ
(1926 – 1942)

ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමය ආරම්භ වූ කාලපරිච්ඡේදයට සමගාමීව ආරම්භ වී ඇතැයි කියැවෙන, කුරුනෑගල උඩබදලව ශ්‍රි සුදර්ශනාරාම විහාරයේ විහාරාධිපති ධුරයද, ආරම්භයේ පටන්ම හොබවන ලද්දේ, අප විහාරස්තානයේ නායක ස්වාමීන් වහන්සේලා විසින් ය. මෙ අදිපතිත්වය හිමුවූ ආකාරය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමට අපොහොසත් නමුදු “ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමය, උඩබදලව ශ්‍රී සුදර්ශනාරාමය යන උභය විහාරාධිපති” වන යෙදුම අතීතයේ පටන්ම භාවිතා කළ බව මෙහිලා සඳහන් කළ හැකිය.

කොස්සින්නේ සීලරතන ස්වාමීන් වහන්සේ, 1926 දී විහාරාදිපති ධුරයට පත්ව 1942 දී අපවත් වූ බව, විහාරස්ථානයේ ඇති ස්ථූපයේ පැහැදිලිව සඳහන් කර ඇත. ඊට අමතරව දොන් අල්පේනිස් මුණසිංහ මැතිතුමාගේ සටහන් පොතෙහි ද 1942 වර්ෂයේ උන්වහන්සේ අපවත් වූ බවත්, එම ශ්‍රී දේහය සුසාන භූමියට වැඩමවිම සඳහා අළුතින් පාරක් කැපූ බවත්, එයට “සීලරතන මාවත” යනුවෙන් නම් කල බවත් සඳහන්ය. සුමේධ මාවතෙන් පටන්ගෙන සුසාන භුමිය පසුකර ගොස් පංසල පාරට සම්බන්ධ වන පාර එම මාවත වේ. සිලරතන හිමිපාණන්ගේ ධූර කාලය අතරතුර වර්ථමාන බුදු මැදුරේ කටයුතු ආරම්භ වූ බවටද පැරැන්නන් අතර මතිමතාන්තර පවතී.

මෙම කාළයේ බුදුමැදුරට අවශ්‍ය වැලි, බොහෝ ප්‍රමාණයක් සපයා ගෙන ඇත්තේ පිටවෙල ලිඳ අසලිනි. එතැන් සිට වැලි කූඩ, අතින් අතට මාරුකරමින් පංසල තෙක්ම ගෙනා බවද, ගවයෙකු නොබැඳ කරත්තයට වැඩි පුරවාගෙන දායකයින් පන්සලට එය ඇදගෙන ආ බවද, එකල ලමාවිය ගෙවූ තාමත් අප අතර සිටින වැඩිහිටියන්ගේ මතක ගබඩා තුල තැම්පත්ව ඇත. මේ කටයුත්තේදී මූලිකත්වය ගෙන කටයුතු කළ අය අතරින් නැසීගිය,

            • ජේමිස් මුණසිංහ මහතා
            • මැන්ඩිස් අප්පුහාමි මහතා
            • ජුලිස් අප්පුහාමි මහතා
            • චාර්ලිස් විතානආරච්චි මහතා
            • පොඩි අප්පුහාමි මහතා
            • හරමානිස් කපු මහතා
            • එච්.ඒ. කරෝලිස් මහතා
            • එච්.ඒ. යෝතං සිංඤ්ඤො මහතා

ආදීන් කැපී පෙනුන බව ඔවුන් සදහන් කරයි. මේ ඉදිකිරිමට සිදු කල පිංකම් මාලාවේදී, සල්පිල් භාණ්ඩ හා මල්වට්ටි වෙන්දේසිය ඉටු කර ඇත්තේ මගේ පියතුමන් වන ජේමිස් මුණසිංහ මහතා විසින් බව ඔවුන්ගෙන් පැවසේ.

5 වෙනි දායක සභාව 1942


පූජ්‍ය නරමානේ පේමානන්ද ස්ථවීරයන් වහන්සේ
(1942 – 1980)

කොස්සින්නේ ශිලරතන නායක හිමියන් අපවත් වීමෙන් අනතුරුව අප විහාරයේ විහාරාධිපති ධුරයට පත් වන්නේ ගරු නරමානේ පේමානන්ද ස්වාමින් වහන්සේ ය. උන් වහන්සේ නායකත්වය හෙබවු අවු 40 කට ආසන්න දීර්ඝ කාල සීමාව ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ ස්වර්ණමය අවධිය යයි නම් කිරිම ඉතා සාධාරණ බව මාගේ පෞද්ගලික හැගීමයි. දැන උගත්කම්, නම්බුනාම, පදවි, තානාන්තර වලින් නොඅඩු සංඝ සමාජයේ, ඒ කිසිවකින් පිදුම් නොලැබූවද, උන්වහනසේගෙන් ධර්ම ශ්‍රී වර්ධනාරාමයටත්, පොදුවේ බුද්ධ ශාසනයටත් ඉටු වූ සේවය අගය කිරීම අපගේ පරම යුතුකමය.


නව බුදුමැදුර ඉඳිකිරීම

ඉහතින් සඳහන් කල පරිදි පළමු බුදුමැදුර පිළිබඳව මතු වූ ගැටළු සහගත තත්ත්වය නිසා, මේ වන විට නව බුදුමැඳුරක් ඉඳිකිරීමේ අවශ්‍යතාවය ප්‍රබලව මතුවි තිබුනි. ගරු පේමානන්ද හිමියන් නායකත්වයට පත්වීමත් සමඟ 1942 පිහිටුවාගත් පස්වැනි දායක සභාව විසින් නව බුදුමැදුර ඉඳිකිරීමේ භාරදූර කර්තව්‍යයට තවදුරටත් අත ගසා ඇති බව මේ අනුව පැහැදිලිය.

ඉතිහාසය මෙසේ කියැවුනද, නව බුදු මැදුරේ වැඩ 1942 ට කලින් සිලරතන හිමියන් නායකත්වය දැරූ වක වානුවේ සිට ආරම්භ කර තිබූ බවට ඇති මති මතාන්තර කිසිසේත් බැහැර කර දැමිය නොහැක. මන්ද, නව බුදු මැදුරේ පිවිසුම් ද්වාරය දෙපස සටහන් කර ඇති 24-90 යන්නෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ වර්ෂ 2490 යැයි පිළිගැනීමට සිදුවන නිසාය. මේ අනුව බුදු මැදුරේ මූලික ඉදිකිරීම් කටයුතු මීට වසර 72 කට කලින් එනම් ක්‍රි.ව. 1946 වර්ෂයේදී අවසන් කොට ඇති බව අප වටහා ගත යුතුය.

වසර ගණනක් තිස්සේ බුදු මැදුර ඉඳිකිරීම් කටයුතු සිදුකරමින් පැවති බවත්, තමන් ඒවාට නන් අයුරින් සහයෝගය දුන් බවත් පවසන වැඩිහිටියන් තවමත් අප අතර සිටිති. මෙම බුදු මැදුරේ, සමාධි සුවසෙත් වැඩ සිටින ප්‍රධාන පිළිම වහන්සේ සහ හිටි පිළිමය සැරියුත් මුගලන් අග සව් දෙනම ප්‍රධාන භික්ෂු ප්‍රතිමා, සතරවරම් දෙවිවරුන් ප්‍රධාන දේව සභා, පස්වග මහනුන් ආදී මෙකී නොකී සියළුම ප්‍රතිමා නෙලීම සඳහා සිහිනියට අඹරාගත් වැලි විශාල ප්‍රමාණයක් එදවස අවශ්‍ය වී ඇත. ඒවා සපයාදීමට, සතර පේරුවේ දායක දායිකාවන් සහ බාල තරුණ පිරිස් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ බව(ඒවාට සහභාගී වූ) වැඩි හිටියන් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයකින් යුතුවය. අප ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරයේ ඉඳිකළ බුදු මැදුරේ, ඉතා දර්ශනීය ලෙසත් අති දක්ෂ ලෙසත් නිම කර ඇති සියළු ප්‍රතිමා, බිතු සිතුවම් වල වැඩ අවසන් විමෙන් පසු 1950-1952 කාලසිමාව තුළ නේත්‍රා තැබීමේ පිංකම ඉතා උත්සවශ්‍රීයෙන් සිදුකල බව පැවසේ. මෙම නව බුදු මැදුර විවෘත වීම ගණේමුල්ල ග්‍රාමවාසී බොදු ජනයාගේ බුද්ධාලම්භන ප්‍රබෝධය තව තවත් වැඩි දියුණු වීමට බෙහෙවින් උපකාරි වි ඇත.එනිසාම එකල දායක දායිකාවන් දිනපතා අඛණ්ඩව මල් පහන් පූජා, ධර්ම දේශනා සංවිධානය කරමින් නව බුදු මැදුරට වන්දනාමාන පවත්වා ඇත.

ගරු නරමානේ පේමානන්ද හිමිගේ නායත්වය පැවැති කාලයේ, ධර්ම ශ්‍රී වර්ධනාරාමය හා අවට ගම්වල විහාරස්ථාන සමඟ තිබූ සහසම්බන්ධතාවය ඉතා උසස් මට්ටමින් පැවතුන බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. කොස්සින්න, අමුණුගොඩ, යාගොඩ, මාකිලංගමුව, ගලහිටියාව, බුළුගහගොඩ, නාරංගොඩ පාළුව, සූරිපාළුව සහ වැලිපිල්ලෑව මේ අතරින් කැපී පෙනුන විහාරස්ථාන විය. මේ අවධියේ වතාවක්, නාරංගොඩ පාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරස්ථානාධිපතිව වැඩ විසූ, අපවත්වී වදාල ගරු යාගොඩ පේමරත්න හිමියන් අප විහාරස්ථානයේ වස් වසා සිටිබවද පැවසේ. උන් වහන්සේ අප විහාරයේ සංවර්ධනය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කළ හිමිනමක් බව තතුදත් අය පවසයි.


6 වෙනි දායක සභාව 1950

ඇසල පෙරහැර

ගරු පේමානන්ද හිමි සමයේ පැවති මෙම බෞද්ධ ප්‍රබෝධයේ උච්ච ස්ථානයක් වශයෙන් 1955 වසරේ ඇසල මස ආරම්භ කළ ඇසල මහා පෙරහැර සඳහන් කළ හැකිය. පෙරහැර ආරම්භයත් සමගින් ධර්ම ශ්‍රී වර්ධනාරාමයට ප්‍රදේශයේ පන්සල් අතර, ප්‍රමුඛස්ථානයක් හිමි විය. 1955 වකවානුවේ මෙගම විසු දායක කාරකාදීන් සහ ව්‍යාපාරික භවතුන් මහත් කැපවිමකින් මෙම ඇසළ පෙරහැර සංවිධානය කරමින් ධර්ම ශ්‍රී වර්ධනාරාමයටත්, ගමටත් විශාල කිර්තියක් සහ ගෞරවනීයත්වයක් ලබාදුනි. ගමේ කුඩා දරුවන්ගේ පටන් වැඩි හිටියා දක්වා ගැහැණු පිරිමි දෙපාර්ශවයම පෙරහැරට අවශ්‍ය අංගෝපන්න නිර්මාණය සඳහා විසාල උනන්දුවක් දක්වා ඇත. සෑම පේරුවකින්ම නැටුම් කණ්ඩායම් හත අටක් මෙන්ම අලංකාර මල් බයිසිකල් කරුවන් ඇතුලු විසිතුරු විවිධාංග පෙරහැරට එක් කර ඇත. ගමේ ප්‍රභූ පිරිස් විසින් පෙරහැරේ අලංකාරය උදෙසා අලි ඇතුන් සැපයීම ආදී බර පැණ වලට උර දුන් අතර ගමේ සැඟවුනු කාලකාරුවන් ද මෙම ඇසල පෙරහැර නිසා මතුවිය. සුමේධ මාවතේ නැසීගිය ජී.ගුණසේන මහතා ගිනිබෝල කන්ඩායම් නිර්මාණ යෙන්ද, බටහිර පේරුවේ අම්පෙ මොහොට්ටි (චාලි මාමා) මහතා නැටුම් කන්ඩායම් නිර්මානයෙන්ද ගමට කිර්තිය අත්කර දුන් බෝහෝ අය අතුරින් මා දන්නා සුවිශේෂි පුද්ගලයන් දෙදෙනෙකි.

ඇසල පෙරහැරේ ආරම්භය නිසා වල්බිහි වි තිබූ මංමාවත් කළඑලි විය. පටුවට තිබූ ස්ථාන පලල් විය. එකල විදුලිය නොතිබුනද ගමන් මග ආලෝක කිරීමට සෑම නිවසකම උත්සුක වූ අතර, බෞද්ධ කොඩි එල්ලා ගම්වැසියන් පෙරහැරට උපහාර දැක්වූහ. එකල සිටි ගණේමුල්ල නගරයේ ව්‍යාපාරික මහතුන් ගොක් තොරන් ඉඳිකර පෙරහැර සාදරයෙන් පිළිගන්නා ලදී. මග දිගට විවිධාකාර දන්සල් වලින් පෙරහැරට සංග්‍රහ කිරීම් නොඅඩුව සිදු කෙරිනි. මෙසේ ගණේමුල්ලට පුනර් ජිවයක් ලබා දුන් ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ ප්‍රථම ඇසල පෙරහර, ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාම විහාරයට ගොස් වන්දනාමාන කොට පෙරලා උළුකඩේ හංදිය, කළුවල හංදිය පසුකර විහාරස්ථානයට පැමිණ ඇත. මේ අයුරින් ගමට සංවර්ධනයත්, විහාරයට ප්‍රසිද්ධියත්, ගිහි පැවිදි බැඳිමත් කැඳවමින තරමානේ පේමානන්ද නායක හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව විසින් වසර ගණනාවක් අඛණ්ඩව පෙරහර පවත්වාගෙනවිත් ඇත. හැටේ දශකයේ අග භාගයේදි විවිධ හේතුන් නිසා පෙරහැර කරගෙන යාමට අපහසුතා ඇතිවූයෙන් තාවකාලිකව එය නතර කරන ලදී. එසේ නැවතුනු පෙරහැර ගරු පේමානන්ද හිමිගේ අපවත් වීමෙන් පසු නායකත්වය හෙබවූ ගරු උඩබදලව ජිනසිරි හිමියන් විසින් නැවත පනගැන්වුවද එම උත්සාහයද වසර දෙක තුනකට පමණක් සීමා වුනි. 1955 ආරම්භ කල ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම ඇසල පෙරහැර නොනවත්වා පවත්වාගෙන එන්න හැකියාවක් ලැබුනි නම් මේ වසරේ (2018)පවත්වන්ට යෙදෙන්නේ 63 වැනි පෙරහැරය.


සිරි සීලරතන ප්‍රාථමික විද්‍යාලය ක්‍රි.ව. 1956

මෙම විද්‍යාලය ගණේමුල්ල ග්‍රාමයට හිමිකම් කිව හැකි එකම රජයේ පාසැල වශයෙන් නම් කළ හැක. ගරු නරමානේ පේමානන්ද හිමි හා උන්වහන්සේගේ ශිෂ්‍ය ගරු දාහිගමුවේ පියදස්සී හිමියන්ගේ මගපෙන්වීම යටතේ මෙම පාසල ආරම්භ කරන්නට යෙදුනේ 1956 වර්ෂයේ බව පැවසේ. නැසීගිය පාඨශාලචාර්යවරුන් වූ සී.ඊ.මුණසිංහ, ඩි.යූ. හෙට්ටිආරච්චි, ඩී.ආර්. වික්‍රමආරච්චි, ජුලිස් මුණසිංහ වැනි ගුරු මහතුන් ඇතුළු ගමේ උගත් පිරිස් මේ සඳහා ඇප කැපවී ක්‍රියා කළ බව තොරතුරු දත් අය පවසති. ඔවුන් විසින් ශ්‍රී සීලරතන බෞද්ධ අධ්‍යාපන සමිතිය පිහිටුවා 1956 දෙසැම්බර් 13 දින සිට ධර්ම ශ්‍රී වර්ධනාරාම ධර්ම ශාලාවේ ඇරඹු මෙම පාසැල, වසර ගණනාවක් යනතුරුම පැවතියේ පන්සල් භූමිය තුළය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය) පෙළ දක්වා අධ්‍යාපනය ලබාදුන් සිරි සීලරතන විද්‍යාලය, මුල් කාලයේ පාලනය කරනු ලැබුයේ මහා බෝධි සමාගම විසින්ය. පසුව රජයට පවරා ගන්නා ලද මෙය, සිරි සීලරතන ප්‍රාථමික විද්‍යාලය නමින් අද හඳුන්වනු ලබයි. පසුකාලයේ නොයෙකුත් හැල හැප්පීම් වලට ගොදුරු වූ මෙම විද්‍යාලය වැසී යාමේ තර්ජනයට පවා මුහුණු දුන්නද, අද වන විට ප්‍රදේශයේ දරු දැරියන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන කීර්තිමත් ආයතනයක් බවට නම්දරා ඇත. ණැනවත් විදුහල්පතිනියක යටතේ සේවය කරන දක්ෂ ආචාර්යය මඩුල්ලක සෙවන ලබන දරු දැරියන් දැන් දැන් මේ තුළ විශිෂ්ඨ සාමාර්ථයන් පෙන්නුම් කරමින් සිටින බව ද කිව යුතුය.


පූජ්‍ය දාහිගමුවේ පියදස්සී ස්ථිවීරයන් වහන්සේ

ගරු පියදස්සී ස්වාමීන් වහන්සේට ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ නායක්තවයට පත්විමට අවස්ථාව උදානොවුනද, ඒ සඳහා සුදුසු කම් සපුරමින් සිටි බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුය. ගරු තරමානේ පේමානන්ද හිමි 1942 වර්ෂයේ විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසු, සසුනට ඇතුළුකර ගත් ශිෂ්‍ය දෙපලක් විය. ඒ දාහිගමුවේ පියදස්සී සහ පැල්ලන්දෙනියේ ජිනානනද නමිනි. ධර්ම ශ්‍රී වර්ධනාරාමයෙහි මහණදම් පිරෑ මෙම දෙපලගෙන් ගරු ජිනානන්ද හිමියන් පසු කලෙක මෙම සඟපරපුරට අයත් කුරුණැගල උඩබදලව ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපතිව වැඩ වාසය කලේය. ගරු දාහිගමුවේ පියදස්සී හිමියන් අප විහාරස්ථානයේ වාසය කල, 50-60 දශක වල ජිවත් වූ ගමේ තරුණ පිරිස් උන් වහන්සේ ඇසුරු කිරීමට දැක්වූයේ මහත් අභිරුචියකි. අද තරම් නාගරීකරණය නොවූ බටහිර පන්නයට යට නොවූ ස්වාර්ථයට මුල්තැන නොදුන් එකල තරුණ පිරිස් සිය විවේක අවස්ථා යොදාගත්තේ, ගමේ විහාරස්ථානය හා බැදෙමින් රටට ගමට සේවයක් සැලසීමේ අරමුණෙන් යුතුවය. එවන් පිරිසකින් 1964 දී ගණේමුල්ල අන්‍යොන්‍යාධාර තරුණ බෞද්ධ සංගමය බිහිවීම සිදුවිය. ගරු පියදස්සී හිමියන් එහි නිර්මාතෘ වරයායයි හැඳින්වීම, සෑම සංවත්සර උත්සවයකදීම එම සංගමය අමතක නොකර කරණ උතුම් සිහිපත් කිරිමකි. ගම්වාසින්ගේ සියළු පුණ්‍ය කටයුතු වලදී, තරමානේ පේමානන්ද හිමියන්ට උන්වහන්සේගෙන් අගනා සහයෝගයක් ලැබුනි.

ගරු තරමානේ පේමානන්ද හිමියන්ගේ ශිෂ්‍යයකු වුද, ගරු පැල්ලන්දෙනියේ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ සහෝදර හිමිනමක් වූද, ගරු දානිගමුවේ පියදස්සි හිමියන්, තවමත් අනාවරණය නොවූ හේතුවක් මත 1966 සැප්තැම්බර් 16 දින හදිසියේ අපවත් විය. එදින මද්දහනේ, උන් වහනසේගේ අපවත් වූ ශ්‍රී දේහය පන්සල් වත්තේ පිහිටි නාන ලිදෙහි පාවෙමින් තිබියදී හමුවිය. ගමට රටට ජාතියට ආදරය කළ, දුප්පතුන්ට අනුකම්පා කළ, තරුණයින්ට සුහද මිතුරෙකු වූ උන් වහන්සේගේ අකල් අපවත්වීම අපගමට සිදුවූ බලවත්ම පාඩුවක් බව මතු පරපුරට දැන ගැනීම සඳහා මෙහිලා සඳහන් කරමි.


සංඝාවාසය ඉඳිකිරීම
1963.06.07 -1970.08.07

පූජ්‍ය නරමානේ පේමානන්ද ස්ථවීරයන්ගේ අවු. 38 ක ධූරකාලය තුළ, අප විහාරස්ථානයේ සිදුවූ සංවර්ධන ක්‍රියා වලියේ තවත් විශේෂ සිදුවීමකි. පැරණි ආවසාය වෙනුවට නව අංගසම්පූර්ණ සංඝාවාසයක් ඉඳිකිරීම, මෙයට මූලිකත්වය ගන්නා ලද්දේ එවකට පැවති දායක සභාව විසිනි. අපවත්වි වදාල ගරු දාහිගමුවේ පියදස්සි හිමියන්ගේ ඇසුර ප්‍රියකල තරුණයෝ කීපදෙනෙක්ම මෙම දායක සභාවට එකල ඇතුලත් විය. උන්වහන්සේගේ දිරි ගැන්වීම මත තරුණයන්ගේ යෝජනාව දායක සභාවේ අනුමත වීමෙන් පසු 1963.06.07 දින ඒ සඳහා මුල්ගල තැබීම සුභ නැකතින් සිදුකරන ලදී.

මෙම භාරදූර කාර්යය ඉෂ්ඨ සිද්ධ කිරීම පහසුකර ගැනිම සඳහා දායක සභාව තුළින්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කර ගෙන ඇත. එයට,

            • සභාපති             - ඩී.ජී. සුරවීර වෙදමහතා
            • ලේකම්               - එඩ්වඩ් මුණසිංහ මහතා
            • භාණ්ඩාගාරික  - ජුලිස් අප්පුහාමි මහතා පත්වී ඇති අතර,

        සෙසු සාමාජිකයන් ලෙස,

              • ඩී.යූ. හෙට්ටිආරච්චි මහතා
              • එලාරිස්හාමි මහතා
              • ඩී.ආර්. වික්‍රමරච්චි මහතා
              • ඒබරං මහතා
              • සයිබරං මහතා
              • සීමන් අප්පුහාමි මහතා
              • ජෝන් අප්පුහාමි මහතා
              • ඩී.එස්. සුරවීම මහතා
              • එච්.ඒ. පුංචිසිංඤෝ මහතා
              • මැංඩිස් හෙට්ටිආරච්චි මහතා
              • සුවතං මුණසිංහ මහතා යන අය පත්ව ඇත.( අසා දැනගත් තොරතුරු මතය)

සතරපේරුවේ ගෙයක් ගෙයක් පාසාම ගොස් සෑම මසකටම බිල් පතක් නිකුත් කරමින්, මුදල් මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය රැස්කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය. සෑම ගෙදරකටම පිංකැටය බැඟින් භාරදී වසර අවසානයේ ඒවා එකතුකර එමගින්ද මුදල් සපයාගැනීම සිදුකරන ලදී. මේවාට අමතරව, සෑම සති අන්තයකම විහාරස්ථානයේ පිංකම් මාලාවක් සංවිධානය විය. මල් පහන් පූජා, ධර්ම දේශනා කටයුතු අවසන් වීමෙන් අනතුරුව සංඝාවාසයට ආධාර ලබා ගැනීම සඳහා සල්පිළක් පවත්වා මල් වට්ටි වෙන්දේසියක් ද සූදානම් කෙරුණි. මෙම සල්පිළට අවශ්‍ය භාණ්ඩ පිංකමට සහභාගී වූ දායකයන් විසින්ම බොහෝවිට සපයාදුන් අතර ගමේ සහ නගරයේ වෙළඳ ප්‍රජාවද සහභාගී කරගන්නා ලදී. එදිනෙදා පරිභෝජනයට ගන්නා සියළු දෙයක්ම වෙන්දේසි භාණ්ඩ විය. පොල්, කෙසෙල් ප්‍රධාන පැළවර්ග, එළවළු වර්ග, සිල්ලර බඩු, ඇඳුම් පැළඳුම් , කැවිලි පළතුරු ආදී කී නොකී සියළු දේ ඒ අතර විය. මෙම පිංකම් මාලාවට පැමිණෙන ජනයාගෙන් ධර්ම ශාලාව, විහාර භූමිය පමණක් නොව පංසල අවට මාර්ග ය ද අතුරුසිදුරු නැති විය. කඩල, අච්චාරු, රසකැවිලි සෙල්ලම්බඩු කඩ පාර දෙපස තාවකාලිකව ඉඳිකර තිබුනි. මෙම පිංකම්වලට සහභාගි වූ සියළුදෙනාගේ මුහුණු වල එකල ඇදී තිබුනේ ප්‍රබෝධමත් බවකි. අද මෙන් පන්සීයේ දාහේ පන්දාහේ නෝට්ටු උපත ලබා නොතිබූ එම යුගයේ, පිංකමේ සියළු ගනුදෙනු සිදුවූයේ රුපියල් ශත වලින් පමණි. රුපියල් පනහේ සියයේ නෝට්ටුවකින් ගනුදෙනු සිදුවූයේ ඉතාමත් කලාතුරකිනි. පිංකමක් අවසානයේ මුළු ආදායම ගණන් හැදුවද, රු. දාහක් ඉක්ම වීමට නොහැකි වීම එකල මුදල් පරිහරණයේ පැවති විශේෂත්වයකි. එනමුදු අද රු. ලක්ෂයකින් කළනොහැකි වැඩ කොටසක් එම මුදලින් ඉටුකර ගැනීමට එකල දායක සභාව වාසනා වන්ත විය.

මල් වට්ටිය වෙන්දේසි කිරීම ගැනද සුළුවෙන් හෝ සටහනක් තැබීම යෝග්‍යයයි සිතේ. රු. දහයක් පමණ ලංසුවකින් වෙන්දේසිය ආරම්භවේ. එතැන් සිට ඉල්ලුම් කරුවන් වැඩිකර ඉල්ලන මුදල පමණක් (ශත දහය, විසිපහ, පනහ ආදී වශයෙන්) රැගෙන එන වට්ටියට දැමිය යුතුය. පැයකට ආසන්න කාලයක් මේ අයුරින් මල් වට්ටිය වෙන්දේසි වේ. මේ අතර කොයි මොහොතේ හෝ වේලාව තබා ඇති ඔර්ලෝසුවේ “සීනුව” නාදවන විට වෙන්දේසිය අවසන් වේ. අවසානයට ඉල්ලා සිටි ඉල්ලුම් කරුට මල් වට්ටිය හිමි වේ. ධර්ම ශාලාව තුළ සහ වටේ පොදිකමින්, මල් වට්ටිය තමන් සතු කර ගැනීමේ අටියෙන් අතමිට සරු වැඩිහිටියන් අතර තරඟයක් වන විට උදාවන විනෝද ජනක අවස්ථාව වචනයෙන් විස්තර කළනොහැකි තරම්ය. තරඟය උච්ච ලෙස උණුසුම් වන අවස්ථාවලදී, සුළු සුළු ආරාවුල් ඇති වූ අවස්ථාද නොතිබුනා නොවේ. තරඟකාරිත්වය උණුසුම්ව පවත්වා ගැනීම, මුදල් වට්ටිය තරවීමට හේතු වන නිසා, වෙන්දේසිකරු උපක්‍රම ශීලීව විවිධ රසවත් දේ ප්‍රකාශකරමින් ගැනුම් කරුවන් ප්‍රබෝධමත් කිරීමට එදා ගත් උත්සාහය මනරම් ය. විහාරය ආසන්නයේම ජිවත් වූ ගමේ “මැම්බර්”(අදනම් ප්‍රාදේශිය සභා මංත්‍රී) “සුදු උන්නැහැ එකල සිටි ජනප්‍රියම වෙන්දේසි කරු විය. ඊට අමතරව පංසල පාරේ විසූ දායක සභා සාමාජික ආර්.ඩී. රත්නායක මහතා ද දක්ෂ වෙන්දේසි කරුවකු වශයෙන් කැපී පෙණුනි.

වර්තමාන ගෘහණිය රාත්‍රී ආහාරය ගැන නොතකා රූපවාහිනය වැළඳසිටින අතර, ගෙහිමියා කොන්තු, රයිස්, ආප්ප කඩ පිරමන් කල් මරන දසුන් අද සුලබය. අපේ දරු දැරියන් ටියුෂන් සුපර්මාකට් වලට වැදී වේලාව අවේලාව නොතකා ශිල්ප එකතු කරගෙන එන තුරු, දෙමාපියන්ට ඒවා අසලට වී සිය මනසේ බලාපොරොත්තු පොදි බැඳීමට අද කාලය සැකසී ඇත. මෙවැනි සංකීර්ණ ඛේදජනක සැදෑ සමයක් අත් නොදුටු එදා ගැමි සමාජය, නිදහසේ සරළ සුන්දර ආශ්වාදයක් විඳිමින්ම පිනක් දහමක් කරගැනිමට ගමේ විහාරස්ථානය ඉතා හොඳ තෝතැන්නක් කරගත්හ. ඉහත කී පිංකම් මාලාව ආශ්‍රිතයෙන් එකල ගැටවර විය ගෙවූ අප අත් විඳි අපූරු සුන්දරත්වය, අද ජීවත් වන ළමා පරපුරට අහිමි වී තිබීම ඔවුන් ලැබූ විශාල අභාග්‍යයකි. මේ අයුරින් එදා ගණේමුල්ල දායක කාරකාදීන්ගේ සාමුහික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ලෙස නිමා වූ නව සංඝාවාසයට ගෙවදිම, 1970.08.07 දින සිදුවූ බව ඉතිහාස ගතව ඇත.

පළමු බෝධි රෝපනය
1972.01.28

ධර්ම ශ්‍රී වර්ධනාරාමය පිහිටුවා වසර සියයකට ආසන්න වන තුරුම, විහාරස්ථානයට අත්‍යවශ්‍ය වූ බෝධින් වහන්සේ නමක් රෝපණය කරගැනිම ප්‍රමාද වි තිබුනි. මෙම අඩුපාඩුව පිරිමසාලීමට ද ගරු පේමානන්ද නායක ස්වාමීන්වහනසේට අවස්ථාව උදාවුනි. ඇල්.ඩි. ඕදිරිස් මුදලාලි මහතාගේ විශේෂ මැදිහත්වීම පිට අනුරාධපුර සිට වැඩම කළ “බෝධි අංකුරය” කළුවල හංදියේ සිට විහාරස්ථානයට දර්ශනිය පෙරහැරකින් වඩම්මාගෙන පැමිණි බව කියැවේ. එකල දායක සභාවේ මූලිකත්වයෙන් සිදුකල මෙම පළමු බෝධි රෝපනය පිළිබඳ තොරුතුරු සඳහන් කිරීමේ දි අමතක නොකලයුතු විශේෂ කාරණයක් තිබේ. ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරය පිළිබඳ ඉතිහාසගත සිද්ධින් පෙළගැස්සීමේදී මා මුලින්ම, “වික්‍රමආරච්චි පරම්පරාවෙන්” එම භුමිය පූජා කෙරුණ බව ගෞරව පූර්වකව සඳහන් කෙළෙමි. ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වූ විහාරස්ථානයට, 1970 පමණ වන විට ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා තව තවත් භූමිය අවශ්‍ය බව පෙනී ගිය කරුණක් විය.

එම අවශ්‍යතාවය සපුරාදෙන ලද්දේද එම පරපුරේම සාමාජිකාවක් වූ “ඇසිලින් වික්‍රමාරච්චි” උපාසිකා මාතාව විසින් බව සඳහන් කිරීම එම විශේෂ කාරණයයි. එතුමිය විසින් පුජා කෙරුණු ඉඩම් කොටසෙහි 1972.01.28 දින පළමු බෝධි රෝපනය ගරු නරමානේ පේමානන්ද ස්ථවීරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බව සටහන් කළ හැකිය.


චෛත්‍ය ඉඳිකිරිම
1975.03.25 - 1985.05.29

පළමු බෝධි රෝපණය සිදුවීමෙන් අනතුරුව, විහාරස්ථ දායක කාරකාදීන්ට චෛත්‍යයක අඩුපාඩුව තදින්ම දැණුන බව සඳහන් කිරීම වටී. මෙම අඩුපාඩුව සපුරාගැනීමට එකළ දායකසභාව එතරම් කාලයක් අපතේ නොහැරිය බව පැහැදිලිය.

      එම දායක සභාවේ

          • සභාපති            - එල්.ඩී. ඕදිරිස් මයා
          • ලේකම්               - ඩි.එස්. සුරවීර මයා
          • භාණ්ඩාගාරික  - ඩි.ආර්. වික්‍රමාරච්චි මයා

යන අය මෙම කටයුත්තේදී මූලිකත්වය ගෙන ක්‍රියා කල බව සඳහන් කල යුතුය. මේ අනුව 1975.03.25 දින උත්සව ශ්‍රීයෙන් මුල්ගල තබා චෛත්‍යයේ වැඩ ඇරඹීමට ගරු පේමානන්ද හිමියන්ට අවස්ථාව සැළසුනි. මෙම පුන්‍ය උත්සවයට සහභාගී වීමට ගණේමුල්ල හා අවට ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිට ප්‍රභුන් හැම දෙනෙකුටම පාහේ ආරාධනා කරණ ලද බව කියැවේ. එමගින්, කාළානුරූපව විශාල ආධාර මුදලක් චෛත්‍ය කරණය සඳහා ලැබී ඇත. මෙහි ඉහතින් සදහන් කළ සංඝාවාස ඉදිකිරීමේදී දායක සභාව විසින් අනුගමනය කල ක්‍රමවේදයට අනුරූපව මෙම කර්තව්‍යයේදී ද, ගම්වාසීන්ගේ ආධාර මුදල් මාසයක් පාසා බිල්පත් නිකුත් කරමින් ලබා ගන්නා ලදී. වෙනත් සියළු උපක්‍රම භාවිතාකරමින් චෛත්‍යය ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව වසර දහයක් තිස්සේ කරගෙන යාමට අපේ බුදධිමත් දායක පිරිස සමත් විය. ගරු නරමානේ පේමානන්ද හිමියන්ගේ ශිෂ්‍ය ගරු පැල්ලන් දෙනියේ ජිනානන්ද හිමි එවකට උඩබදලව ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ වැඩ සිටියද, අප විහාරයේ සියළු ආගමික වැඩ සටහන් සඳහා ක්‍රියාකාරීව සහභාගි වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ගමේ ඉපිද පන්සල හා බැඳී හැදී වැටුන, විහාරස්ථානයේ දියුණුව ඉතසිතින් ප්‍රාර්ථනාකළ තවත් පිරිසක් ගැන අමතක නොකර යමක් සටහන් කළ යුතුය. තම විහාරස්ථානයේ දියුණුව සඳහා නිරන්තරව ඇප කැප වෙමින් සිටියද, සිය ජිවන ගමන උදෙසා (ආවහ විහාහ වී) ගම හැරයාමට සිදුවූ දායක දායිකාවන් එසේ ගියද සිය විහාරස්ථානය කිසි විටක අමතක කලේ නැත. ඔවුන්ගේ නොමසුරු ආධාර මෙම චෛත්‍යය ඉඳිකිරීමට බෙහෙවින් උපකාරී වු බව තතු දත් අය අදත් සිහිපත් කරති.

නැසීගිය අම්පෙමොහොට්ටි මහතා සැලසුම් කල ලාංකීය සම්පුදායට අනුකූලව සිත්කලු ලෙස ඉඳිකර ඇති මෙම චෛත්‍ය වසර දහයක් තුළ නිමකිරීම, අප දායක දායිකාවන් තුළ තිබූ අප්‍රතිහත ධෛර්ය්‍ය හා පරිත්‍යාග ශිලී බව මොනවට පිළිඹිඹු කරයි. ඇසිලින් වික්‍රමාරච්චි උපාසිකා මාතාව පුජා කළ ඉඩම් කොටසේ ස්ථාපිත කර ඇති චෛත්‍ය යේ කොත් පැළිදවීම 1985.05.29 දින උත්සවශ්‍රීයෙන් සිදු කරණ ලදී.


ගරු නරමානේ පේමානන්ද ස්ථවීරයන් වහන්සේගේ අපවත්වීම

මෙම චෛත්‍ය යේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින්දී එහි නිමාවක් දැකිමට පෙරාතුව ගරු නරමානේ පේමානන්ද ස්ථවීරයන් වහන්සේගේ අපවත් වීම සිදුවිය. ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයටත්, ගණේමුල්ල ජනතාවටත් ඉතා ශෝකාකූල අවස්ථාවක් නිර්මානය කළ මෙම අපවත්විම, අප ගමට පමණක් නොව මුළු ප්‍රදේශයටම අත් වූ බලවත් පාඩුවක් බව සඳහන් කළ යුතුය. ප්‍රදේශයේ අනිකුත් පූජනීය ස්ථාන සමඟ උන්වහන්සේ එදා පවත්වාගෙන ගිය නිහතමානී සහ සම්බන්ධතාවය, අප විහාරයේ පුනර්ජිවයට හේතුවූ ස්වර්ණමය යුගයක් නිර්මාණය කළ බව මගේ පිළිගැනිමයි. පදවි, තානාන්තර දැන උගත්කම් වලින් අඩුවක් නැති වර්ථමාන සංඝ සමාජයේ ඒ කිසිවකින් පිදුම් නොලැබූ උන්වහන්සේ, අප විහාරස්ථානයට සහ බෞද්ධ සමාජයට කළ අමිල ශාසනික සේවය අති ගෞරවනියය. වසර තිස් අටක් වූ දිර්ඝ නායක ධුරයක් දැරූ ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම උඩබදලව ශ්‍රි සුදර්ශනාරාම යන උබය විහාරාධිපති ගරු නරමානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ 1980.03.05 දින අපවත්වි වදාල බව මෙසේ සටහන් වේ.


පූජ්‍ය පැල්ලන්දෙනියේ ජිනානන්ද ස්ථවිරයන් වහන්සේ
1980 -2007

ගරු පේමානන්ද හිමියන්ගේ අපවත් වීම නිසා පුරප්පාඩු වූ ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම සහ උඩබදලව ශ්‍රී සුදර්ශනාරාම යන උභය විහාරාධිපති ධුරය ඉන් පසු හොබවන ලද්දේ, උන්වහන්සේගේ ශිෂ්‍ය ගරු පැල්ලන්දෙණියේ ජිනානන්ද ස්වාමීන් වහන්සේය. නායක පදවිය හිමි වුවද සුපුරුදු පරිදි උන්වහන්සේ වැඩ වාසය පිණිස තෝරා ගත්තේ ශ්‍රී සුදර්ශනාරාම විහාරයමය. 1960 දශකයේ මුල් භාගයේ පමණ ජිනානන්ද හිමි යටතේ මහණදම් පිරූ ශිෂ්‍ය සාමනේර ස්වාමීන් වහන්සේලා දෙනමක් විය. ඒ උඩබදලව ජිනසිරි සහ නුංගමුවේ සුමංගල (ii ) යනුවෙනි. අධ්‍යාපන කටයුතු පහසු කරලීම සඳහා ලාබාල උඩබදලව ජිනසිරි හිමියන් ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ නතර කළ අතර, සුමංගල හිමියන් උඩබදල විහාරයේ රඳවා ගන්නා ලදී. මේ අනුව ගරු ජිනසිරි හිමියන් ගම්පහ දොරණගොඩ පිරිවනෙහි අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ගම්පහ විද්‍යාරවින්ද්‍ර පිරුවෙනහිද අධ්‍යාපනය ලබමින් විහාරස්ථානයේ කටයුතු සඳහා ගරු පේමානන්ද නායක හාමුදරුවන්ට මනා සහයෝගයක් ලබා දුන්හ. මෙම දෙනම මහණ කරන අවස්ථාවේ අරමුණු වී තිබුනේ නුංගමුවේ සුමංගල හිමිව ධර්ම ශ්‍රි වර්ධනාරාමයටත්, උඩබදලව ජිනසිරි හිමිව ශ්‍රි සුදර්ශනාරාමයටත් යථා කාලයේදී හිමිකම් පැවරෙන ආකාරයටය. ධර්ම ශ්‍රි වර්ධනාරාමයේ ආරම්භක ස්වාමීන් වහන්සේගේ නමින්ම (නුංගමුවේ සුමංගල) නැවත ස්වාමින් වහන්සේ නමක් මහණකරගැනීමේ අවශ්‍යතාවයක් එකල දායක සභාවට ඇති වී තිබිම මෙම අරමුණාට මුල් වී ඇත. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මෙම ස්වාමීන් වහන්සේලා දෙනම ඒ ඒ විහාරස්ථාන වලටම තහවුරු වී සිටිම නිසා, ගරු ජිනානන්ද ස්වාමීන් වහන්සේ නායක්තවයට පත්වීමෙන් පසුවද ගණේමුල්ල විහාරස්ථානයේ ඉදිරි පාලන කටයුතු සඳහා ගරු ජිනසිරි හිමියන්වම පත්කරගන්නා ලදී. ගරු ජිනාණන්ද නායක ස්වාමින් වහන්සේ අවශ්‍ය සෑම අවස්ථාවකම ධර්ම ශ්‍රී වර්ධනාරමයට පැමිණෙමින් ගරු ජිනසිරි හිමියන්ගේ ශාසනික කටයුතු වලට නායකත්වය ලබාදුනි. කටයුතු මෙසේ සිදුවෙමින් පවතිද්දී උඩබදලව ප්‍රදේශ වාසී බෞද්ධ ජනතාවත්, ගණේමුල්ල ප්‍රදේශ වාසී බෞද්ධ ජනතාවත් කම්පා කරවමින් උඩබදලව ශ්‍රී සුදර්ශනාරාමය ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමය උභය විහාරාධිපති කීර්ති ශ්‍රී සිලරථනාභිධාන වෑ උඩ වල්ලී හත්පත්තුවේ අධිකරණ සංඝනායක ධුරන්දර, ගරු පැල්ලන්දෙනියේ ජිනානන්ද ස්ථවීරයන් වහනසේ 2007.12.10 දින අපවත් වී වදාලේය. ආදාහන පූජෝත්සවය දෙපලාතේ විශාල දායක පිරිසකගේ සහභාගීත්වයෙන් කුරුණැගල උඩබදලවදි සිදු කරණ ලදී.


පූජ්‍ය උඩබදලව ජිනසිරි ස්ථවීරයන් වහන්සේ
2007 - 2013

ගරු ජිනසිරි ස්ථවීරයන් වහන්සේ, හැටේ දශකයේ මුල් භාගයේ සිටම ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාර වාසීව වැඩ සිටි බව කවුරුත් හොඳින් දන්නා කරුණකි. නරමානේ ගරු පේමානන්ද නායක හිමි සෙවනේ වැඩෙමින්, උන්වහන්සේගේ මහා සාසනික මෙහෙවරට යෝධ ශක්තියක් වූයේ ගරු ජිනසිරි හිමියන්ය. මෙම කාලයේම, සිය උසස් අධ්‍යාපනය සඳහා ධර්මශ්‍රී වර්ධානරාමයේ තාවකාලිකව වැඩ සිටි හිමි නමක් ගැනද සිහිපත් කල යුතුව ඇත. ගරු අමුණුකොලේ පඤ්ඤානන්ද හිමි වූ උන්වහන්සේ විහාරස්ථානයේ දායක පිරිසගේ සිත් දිනා ගත් හිමිනමක් විය.

විහාරස්ථානයේ සෑම කටයුත්තකදීම උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය ආදර්ශමත් විය. උන්වහන්සේ ගෙන්ද ගුරුහරුකම් ලබමින් වැඩුනු ජිනසිරි ස්වාමීන් වහන්සේ, ගරු පේමානන්ද නායක හිමියන් අපවත් වන අවස්ථාව වන විට විහාරස්ථානය පාලනය කිරීමට අවශ්‍ය හැම සුදුසුකමක්ම සපුරා තිබුනේය. ගරු ජිනානන්ද හිමියන්ගේ විහාරාධිපති ධුරය යටතේ, ධර්ම ශ්‍රී වර්ධනාරාමය භාරගත් උන්වහන්සේ 1980 වේ සිටම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පුළුල් ලෙස දියත් කලේය. අනාරක්ෂිතව තිබූ විහාරස්ථාන භූමිය වටා බැමි බැඳ, ගේට්ටු ඉඳිකර ආරක්ෂිත ස්ථානයක් බවට පත්කල උන්වහන්සේ විසින් දියත් කල සෙසු හාසනික මෙහෙවරේ වැදගත් අවස්ථා කිපයක් මෙසේය.

            • දෙවෙනි බෝධි රෝපනය
            • අළුත් දාන ශාලව ඉඳිකිරීම
            • ත්‍යෛ මළුව සහ බෝ මළුව නිර්මානය කිරීම (ඇත් පවුර පඩිපෙළ ආදිය මීට ඇතුලත්ය)
            • දොලොස් මහේ පහන් නිර්මානය
            • ශිෂ්‍යයන් සිව්දෙනෙකු මහණ කිරීම
            • වර්ථමාන විහාරාධිපති හිමියන්ගේ උපසම්පදා උත්සවය - 2005
            • පොකුණ නිර්මානය කිරීම
            • ජිනානන්ද හිමි අනුස්මරණ බාවනා අසපුව නිර්මානය කිරීම
            • දහම් පාසැල විදිමත්ව පවත්වාගෙන ඒම
            • ඇසල පෙරහැර නැවත පටන්ගැනීම
            • පෝය සතර දාන ශිල භාවනා වැඩ සටහන් අඛණ්ඩව පැවැත්විම
            • වාර්ෂික පිංකම් මාලාව උත්කර්සවත් ලෙස පැවැත්විම

ගරු ජිනානන්ද හිමි අපවත් වී ගරු ජිනසිරි හිමි විහාරාධිපති ධුරයට පත්වීමත් සමඟ ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම උඩබදලව ශ්‍රී සුදර්ශනාරාම උභය විහාරාධිපති ධුරය පිරිනැමෙන පැරණි රටාව කිසියම් වෙනසකට භාජනය විය. ජිනානන්ද හිමි ආදාහන කටයුතු නිමවීමෙන් අනතුරුව දෙපලාතේ නායක ස්වාමීන් වහන්සේලාගේ සහ දෙපාර්ශවයේ දායක සභාවල එකඟත්වයෙන් හුංගමුවේ සුමංගල හිමි උඩබදලව විහාරස්ථානයේ විහාරාධිපති ධුරයටත්, උඩබදලව ජිනසිරි හිමි ගණේමුල්ල විහාරස්ථානයේ විහාරාධිපති ධුරයටත් නිල වශයෙන් පත් කරගන්නා ලදී.

උපාධිධාරී උගත් ස්වාමීන් වහන්සේ නමක් වූ ගරු ජිනසිරි ස්ථවිරයන් වහන්සේ ප්‍රදේශයේ පාසැල් කීපයකම ආචාර්ය වරයෙකු වශයෙන් සේවය කලේය. ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ උන්නතිය උදෙසා සිය ජීවිත කාලය කැපකල ශාස්ත්‍රපති පණ්ඩිත ගරු උඩබදලව ජිනසිරි ස්ථවීරයන් වහන්සේ ප්‍රදේශ වාසී බෞද්ධ ජනතාව සෝසයුරේ ගිල්වමින් 2013.04.10 දින අපවත්වී වදාලේය.

වර්ථමාන විහාරාධිපති
පූජ්‍යවෑදණ්ඩේ ජිනරතන ස්ථවීරයන් වහන්සේ - 2013

ගරු උඩබදලව ජිනසිරි හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1998 දී පැවිදි බිමට ඇතුලත්, වූ ගරු වෑදණ්ඩේ ජිනරතන හිමියෝ ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිපතින් වහන්සේය. විවිධ හැලහැප්පීම් මැද වුවද, සිය මහණදම් ආරක්ෂාකරගනිමින් අධ්‍යාපන කටයුතු වල නියැලුනු උන්වහන්සේව 2013 දී එම තනතුරට වඩා හිඳුවීමේ සියළු ගෞරවය ලැබිය යුත්තේ, ධර්ම ශ්‍රි වර්ධනාරාම සමස්ථ දාකය පිරිසට මය. සිය ගුරු හිමියන් ඔත්පලව සිටි අවස්ථාවේ තම යුතුකම් මනාව වටහාගත් උන් වහන්සේ එදා ක්‍රියාකල ආකාරය කාගේත් පැසසුමට ලක් විය. මේ වන විට තරමක පිරිහිමකට ලක්ව තිබූ විහාරස්ථානයේ ගිහි පැවිදි සම්බන්ධතාවය යථා තත්ත්වයට ගෙන ඒමට උන් වහන්සේට වැඩි කාලයක් අවශ්‍ය නොවීය. උන් වහන්සේ සියළු දායක දායිකාවන් සමඟ නිරහංකාර ලෙස ඇසුරු කිරීම අගය කළ යුත්තකි. අපේ මව් විහාරය වශයෙන් පිළිගැනෙන කොස්සින්න යටවත්තේ මහා විහාරය ප්‍රධාන අවට විහාරස්ථාන සමඟ අතීතයේ පැවති සහ සම්බන්ධතාවය නැවත පන ගැනීමට උන් වහන්සේ උත්සාහ දරමින් සිටී. ධර්ම ශ්‍රි වර්ධනාරාම විහාර භුමිය කසාවතින් බැබලෙන යුගයක් යලි නිර්මාණය වී ඇත. දායක දායිකාවන්ගේ කුදුමහත් අවශ්‍යතා අඩුවක් නැතිව ඉටුකර දීමට සමත් ශිෂ්‍ය පිරිසක් (පැවිදි) උන්වහන්සේ ගොඩනගමින් සිටී. මේ සියල්ල පිටුපස සිට, ගරු ගණේමුල්ලේ රතනවංශ හිමි විහාරාධිපති හිමියන්ට ලබාදෙන උතුම් සහයෝගය පැසසුම් කටයුතුය. ඉතා දීර්ඝ කාලයක සිට අඛණ්ඩව පවත්වාගෙන ආ ධර්ම ශ්‍රී වර්ධනාරාම දහම් පාසල මෙහෙයවීම, උන්වහන්සේ අතින් සාර්ථකව ඉටුවෙමින් පවතී. එපමණක් නොව, කුඩා සාමනේර ස්වාමීන් වහන්සේලා පිරිස සිල්වත්, සංවරයෙන් යුතු, ශාසනාභිවෘද්ධියට කැපවී සසුන් කෙත බැබලිය හැකි මට්ටමකට ගෙන ඒමේ මහා ක්‍රියාවලියට නොපසු බටව උරදෙන්නේ අපේ මේ ගරු රතනවංශ ස්වාමීන් වහන්සේය.

මේ අයුරින් විහාරස්ථානයේ සහ සතර පේරුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන වෑදණ්ඩේ ජිනරතන ස්වාමීන් වහන්සේ මෙතෙක් ඉටුකල සහ ඉටුකරමින් සිටින වැදගත් ශාසනික කටයුතු කිපයක් මෙසේ සටහන් කළ හැක.

            • ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
            • බුදු මැදුර ප්‍රතිසංස්කරණය කිරීම
            • දාන ශාලවේ උඩුමහල නිර්මාණය කිරීම
            • පහල බෝමළුවේ ප්‍රකාරය පුළුල් කිරීම
            • පුජා භූමිය වටා පවුර ඉඳිකිරීම
            • ඉහල මළුවට මල් ආසන ජල නල සහ සැදැහවතුන්ට පහසුකම් සැලසීම
            • උපාසක පිරිසට දාන ශාලාවක් ඉදිකිරීම
            • ධාතු මංදිරය නිර්මානය කිරීම
            • වැසිකිලි පද්ධතිය ඉඳිකිරීම
            • අටවිසි බෝධි රෝපනය
            • ශිෂායන් 10 දෙනෙකු මහණ කිරීම (උපන් දිනට සහ කඨින පිංකමට)
            • අපවත් වී වදාල නාහිමි වරුන්ගේ අනුස්මරණ ඵලකය ඉඳිකිරීම
            • ධර්ම ශ්‍රී වර්ධනාරාම වෙසක් කලාපය නිර්මාණය කිරීම (තොරණ සත් දින දන්සැල් සහ වෙසක් කූඩු තරඟය ඇතුළු)
            • අපවත් වූ ගුරු හිමියන් වෙනුවෙන් වාර්ෂීක ලේ දන්දීමේ පිංකම් පැවැත්වීම
            • සතර පේරුවේ රෝගීන් සදහා රෝද පුටු, කිහිලිකරු, වතුර, මෙට්ට ආදිය ලබාදිම
            • නැති බැරි අයට අවමංගල්‍ය සඳහා මිණි පෙට්ටි ලබාදීම

ගරු වෑදණ්ඩේ ජිනරතන හිමියන්ගේ ශිෂ්‍ය පිරිස.

                • පූජ්‍ය ගණේමුල්ලේ රතනවංශ හිමි
                • පූජ්‍ය ගණේමුල්ලේ ධම්මරතන හිමි
                • පූජ්‍ය ගණේමුල්ලේ සීලරතන හිමි
                • පූජ්‍ය දඹුල්ලේ සංඝරතන හිමි
                • පූජ්‍ය නැදගමුවේ පේමානන්ද හිමි
                • පූජ්‍ය සගණේමුල්ලේ සීලානන්ද හිමි
                • පූජ්‍ය අඹගස්වැවේ ජිනානන්ද හිමි
                • පූජ්‍ය ගණේමුල්ලේ පියදස්සි හිමි
                • පූජ්‍ය ඇලපාත ධම්මදස්සී හිමි
                • පූජ්‍ය ගණේමුල්ලේ අනෝමදස්සී හිමි
                • පූජ්‍ය මොණරාගල සිරිරතන හිමි
                • පූජ්‍ය පහළයාගොඩ ගුණරත්න හිමි

මේ අයුරින් ගණේමුල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය අද පවතින තත්වයට ගෙන ඒමට අතීතයේ අප ගම විසූ දුප්පත්- පොහොසත් - උගත් -නූගත්, තරුණ-වැඩිහිටි ආදී කීනොකී බෞද්ධ ජනතාව වේයන් රැළක් මෙන් ඇප කැපවී ක්‍රියාකර ඇත. වර්තමානයේ අයද ඒ මග අතනොහැර තදින් ග්‍රහණය කර ගනිමින් ක්‍රියාකරගෙන යයි. ඒ සියළු දෙනාටම අප පුදකරන්නේ එක සමාන වූ ගෞරවනීයත්වයකි. ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වර්ථමාන දායක සභාව 36 දෙනෙකුගෙන් පමණ සමන්විතය.ඒ අතුරින් ක්‍රියාකාරී නිලධාරීන් (කාරක සභික) ලෙස

ශ්‍රී ලංකාව “පෙරදිග මුතු ඇටය” යන විරුධාවලිය ලැබීමට තරම් ලෝක පූජිත වූයේ බුදුසමයෙන් පෝෂණය වූ ජාතියක් වෙසෙන රටක් වූ බැවිනි. 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් රටක් වීමෙන් පසු බුදු දහම බෞද්ධ අධ්‍යාපනය, මෙන්ම සිංහල සිරිත් විරිත් ද සීඝ්‍ර පිරිහීමකට ලක්වෙමින් තිබුණි. ක්‍රිස්තු භක්තිකයන්ට ඉංග්‍රීසි පාලනයේ සැළකිලි ලැබුනද බෞද්ධයන්ට කිසිදු සැලකිල්ලක් නොලැබීමෙන් සිංහල බෞද්ධයෝ බුදුදහම අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳගැනීමට පෙළඹුන නිවට ප්‍රවනතාවය, ගණේමුල්ල ප්‍රදේශය දක්වාද පැතිරෙමින් තිබුනි. කොස්සින්න රජමහ විහාරය මූලාශ්‍රව පැතිර තිබූ මෙම ප්‍රදේශයේ පැරණි විහාර පද්ධතිය, (අමුණගොඩ, යාගොඩ, ගණේමුල්ල, මාකිලංගමුව, ගලහිටියාව, බුළුගහගොඩ, නාරංගොඩ පාළුව, සූරියපාළුව, වැලිපිල්ලෑව ආදී වශයෙටන්) ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව ඉහතකී ප්‍රවනතාවයෙන් මුදවා ගැනීමට, කොයිතරම් ඉවහල් වන්නට ඇත්දැයි වටහා ගැනීම බුද්ධිගෝචර වේ.

එවැනි ජාතික අභිමානය හින වු පරාධිත අවධියක, කොස්සින්න මහා විහාරයෙන් නික්ම විත් (ගණේමුල්ල බෞද්ධ ජනතාවට) ධර්ම ශ්‍රී වර්ධනාරාමය ගොඩ නැගීමට මූලිකත්වය ලබාදුන් නුංගමුවේ සුමංගල නාහිමියන් ප්‍රධාන විහාර වාසීව වැඩ විසූ සියළුම නායක ස්වාමීන් වහන්සේලාට අප වර්ථමාන බෞද්ධ ජනතාවගේ නමස්කාර පූර්වක ගෞරවය මෙසේ පිරිනමමු.

එදා පැතිරයමින් තිබූ ක්‍රිස්තියානි රැල්ලෙන් මුදවා, සිංහල බෞද්ධ ජන කොටසක් සුරක්ෂිත කිරීම උදෙසා පුන්‍ය භූමියක් උරුමකර දුන් “සිංඤ්ඤප්පුහාමි” ප්‍රමුඛ වික්‍රමආරච්චි පරපුරටද ගණේමුල්ල බෞද්ධ ජනතාව සෑම කල්හිම පින්දිය යුතුය.

මෙසේ සියවසක් ඉක්මවූ කාළපරාශයක් තිස්සේ මෙගම විසූ බෞද්ධයන්ගේ ශ්‍රමය ධනය, බුද්ධිය හා අධිෂ්ඨානය කැටිකර බිහි කර දුන් පූජනීය ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, ප්‍රදේශය බබලවන “ප්‍රදීපස්ථාම්භය” බවට පත් කිරීමට වර්ථමාන විහාරාධිපති පූජ්‍ය වෑදණ්ඩේ ජිනරතන ස්ථවීරයන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.


    බන්දුල මුණසිංහ,

    සුමේධ මාවත
    ගණේමුල්ල.
    27/03/2018

    (5 වන සංස්කරණය 14/11/2018)

    ස්තූතිය

මෙහි අඩංගු තොරතුරු සපයා ගැනීමට උපකාර කළ ගරු වෑ දණ්ඩේ ජිනරතන ස්වාමීන් වහන්සේටත්, ගරු ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ඩී.ඊ.කේ. මුණසිංහ (එඩ්වඩ් මුණසිංහ) මැතිතුමාටත්, ගරු සනත් පාලිත මුණසිංහ මැතිතුමාටත්, මගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනැමේ.

තොරතුරු එක්තැන් කර මෙය සකස් කර දෙන තුරු, නොයිවසිල්ලෙන් ඉවසාගෙන සිටි මා මිත්‍ර ගණේමුල්ල ඩොට්කොම් හි ජනකප්‍රිය බාලසූරිය මැතිතුමාටත් මෙය සාර්ථකව පරිගණක ගතකොට දුන් ආර්.ඒ.පී. සුදර්ශනී මැතිනියටත් මගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.

ganemulla

1942 - 1980

ganemulla පූජ්‍ය නරමානේ පේමානන්ද ස්ථවීරයන් වහන්සේ


ganemulla පූජ්‍ය දාහිගමුවේ පියදස්සී ස්ථිවීරයන් වහන්සේ


1980 - 2007

ganemulla පූජ්‍ය පැල්ලන්දෙනියේ ජිනානන්ද ස්ථවිරයන් වහන්සේ


2007 - 2013

ganemulla ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩමැළව ජිනසිරි ස්වාමින් වහන්සේ


වර්ථමාන විහාරාධිපති

ganemulla
පූජ්‍ය වෑදණ්ඩේ ජිනරතන ස්වාමින් වහන්සේ


2016

උපසම්පදා මහෝත්සවය

ganemulla
පූජ්‍ය ගණේමුල්ලේ රතනවංශ හිමි


ganemulla

කුළදරුවන් මහණ කිරීම

ganemulla
නැදගමුවේ පේමානන්ද හිමි
අඹගස්වැවේ ජිනානන්ද හිමි
ගණේමුල්ලේ සීලානන්ද හිමි


ganemulla
ගණේමුල්ලේ අත්තදස්සී හිමි


ganemulla
ගණේමුල්ලේ සීලරතන හිමි
දඹුල්ලේ සංඝරතන හිමි

බුදු මැදුර

ganemulla


පැරණි ධර්මශාලාව

ganemulla


චෛත්‍යය

ganemulla


හිටපු විශ්‍රාමලත් විදුහල්පති

අල්පේනිස් මුණසිංහ මහතා

ganemulla

දායක සභා විස්තර

අල්පේනිස් මුණසිංහ මහතාගේ අත්අකුරින්
ganemulla ganemulla

අල්පේනිස් මුණසිංහ මහතාගේ නිවස
ganemulla

ඇසිලින් වික්‍රමාරච්චි උපාසිකා මාතාව

ganemulla

ganemulla


ganemulla



2016 මාර්තු 19

ganemulla මිහිකත හෝරාව සමරමින්

2017 නොවැම්බර් 03 ganemulla ganemulla ළමා සමාජය ආරම්භ කල අවස්ථාව

ganemulla ගණේමුල්ල ඩොට් කොම් අන්තර්ජාලයට


ලේඛක

ganemulla බන්දුල මුණසිංහ මහතා


ganemulla

1942 - 1980

ganemulla පූජ්‍ය නරමානේ පේමානන්ද ස්ථවීරයන් වහන්සේ


ganemulla පූජ්‍ය දාහිගමුවේ පියදස්සී ස්ථිවීරයන් වහන්සේ


1980 - 2007

ganemulla පූජ්‍ය පැල්ලන්දෙනියේ ජිනානන්ද ස්ථවිරයන් වහන්සේ


2007 - 2013

ganemulla ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩමැළව ජිනසිරි ස්වාමින් වහන්සේ


වර්ථමාන විහාරාධිපති

ganemulla
පූජ්‍ය වෑදණ්ඩේ ජිනරතන ස්වාමින් වහන්සේ


2016

උපසම්පදා මහෝත්සවය

ganemulla
පූජ්‍ය ගණේමුල්ලේ රතනවංශ හිමි


ganemulla

කුළදරුවන් මහණ කිරීම

ganemulla
නැදගමුවේ පේමානන්ද හිමි
අඹගස්වැවේ ජිනානන්ද හිමි
ගණේමුල්ලේ සීලානන්ද හිමි


ganemulla
ගණේමුල්ලේ අත්තදස්සී හිමි


ganemulla
ගණේමුල්ලේ සීලරතන හිමි
දඹුල්ලේ සංඝරතන හිමි

බුදු මැදුර

ganemulla


පැරණි ධර්මශාලාව

ganemulla


චෛත්‍යය

ganemulla


හිටපු විශ්‍රාමලත් විදුහල්පති

අල්පේනිස් මුණසිංහ මහතා

ganemulla

දායක සභා විස්තර

අල්පේනිස් මුණසිංහ මහතාගේ අත්අකුරින්
ganemulla ganemulla

අල්පේනිස් මුණසිංහ මහතාගේ නිවස
ganemulla

ඇසිලින් වික්‍රමාරච්චි උපාසිකා මාතාව

ganemulla

ganemulla


ganemulla



2016 මාර්තු 19

ganemulla මිහිකත හෝරාව සමරමින්

2017 නොවැම්බර් 03 ganemulla ganemulla ළමා සමාජය ආරම්භ කල අවස්ථාව

ganemulla ගණේමුල්ල ඩොට් කොම් අන්තර්ජාලයට


ලේඛක

ganemulla බන්දුල මුණසිංහ මහතා